■රචකයා පිළිබඳව
ආයුබෝවන්! මම ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටි සංස්කෘතික මෙන්ම ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන නගරයක් වන කුරුණෑගල නගරය ආසන්නයෙහි පිහිටි පිටිසර ගමක උපත ලැබුවෙමි. නමින් චමාලි අතුකෝරල වෙමි. නම තරමක් දිග බැවින් ජපන් මිතුරන් මා "චමාලි" ලෙස ආමන්ත්‍රණය කරයි. ඔබටත් මා "චමාලි" ලෙස ඇමතිය හැකියි.
පසුගිය ලිපිය තුළින් මම ඔබහට ගුන්ම ප්‍රාන්තයේ තකසකි නගරයේ පිහිටි "ශෝරින්සන්දරුමජි" නම් විහාරස්ථානය පිළිබඳ තොරතුරු ගෙන ආවෙමි. මෙවර ලිපිය තුළින් තෝකියෝහි ශිනගව ප්‍රදේශයේ පිහිටි "නප්පගොචිසෝ" අවන්හල (මෙගුරො අවන්හල ) පිලිබඳව තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. මෙම අවන්හලට පිවිසෙන දොරටුව කෙනෙකුට එකවරම හඳුනාගත නොහැකි සැඟවුන දොරටුවක් මෙන් සකස්කර ඇති අතර, එහි ඇතුළුවූ පසුව සැඟවුන නිවසක වැනි හැඟීමක් ගෙන දේ. එබැවින් මෙම අවන්හල පෙම්වතුන් සමඟ, යහළුවන් සමඟ පිළිසදරක යෙදීමට කදිම අවන්හලකි. මෙම අවන්හලෙහි ඇති සුවිශේෂිතා කිහිපයක් පහතින් හඳුන්වාදීමට කැමැත්තෙමි.
■"නප්පගොචිසෝ" අවන්හලෙහි විශේෂතා 3ක් !!
විශේෂතා ( 1 ) වැඩිහිටියන් සඳහා වන සැඟවුනු නිවසක් වැනි පරිසරය
ඉහත සඳහන් කළ පරිදි මෙම අවන්හලෙහි එක් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති වැඩිහිටියන් සඳහා වන සැඟවුනු නිවසක් වැනි පරිසරයයි. උදාහරණයක් ලෙස මෙහි ඇතුළුවීමේ දොරටුව පොත් රාක්කයක ආකෘතිය ගන්නා අතර කිසිවිටක එය දොරටුවක් ලෙස නො හැඟේ. එබැවින් එහි අතුළුවන මොහොතේ සිට තම ළමා කාලයේ මෙන් කුතුහලයක් දැනෙනු ඇත. තවද මෙම මද අඳුරින් යුත් අවන්හලෙහි ඇති සැරසිලි සහ බඳුන්ද එම අවන්හලට ආවේණික වන අතර, ආහර ගෙන අවසානයේ පිළිගන්වන කෝපි පානයද විනෝද ගමනක් (picnic) සඳහා ගෙනයන කූඩයක බහාලූ බඳුනක රැගෙන විත් පිළිගන්වන බැවින් අවන්හලේදීම විනෝද ගමනක (picnic) හැඟීමද අත්විදිය හැක. (විනෝද ගමන් සඳහා රැගෙන යන කූඩයෙහි වූ කුඩා කෝප්ප සහ සීනි සහ කිරි අසුරන ලද බඳුන් ඳ ඉතා අලංකාර වූ අතර එය විශේෂයෙන් මා සිත්ගත්තේය.)
※ඇතුළුවීමේ දොරටුව පොත් රක්කයක ආකෘතිය ගෙන ඇති බව නොදැන මෙහි පැමිණියහොත් නිසැකවම අතරමන් වනු ඇත. මෙහි යාමට බලාපොරොත්තු වන්නේනම් අභිරහස් දොරටුවක් මෙන් දිස්වන පොත් රාක්කය මෙම අවන්හලෙහි දොරටුව බව දැනුවත් වන්න.
විශේෂතා ( 2 ) ආහර සහ බීම වර්ග වල විවිධත්වය
මෙම අවන්හලෙහි දෙවන විශේෂත්වය නම් විවිධ ආහාර සහ බීම වර්ග බොහෝ තිබීමයි. මම බොහෝවිට ඒ ඒ ආහාර වෙන් වෙන්ව ඇණවුම් කරනු ලැබූව ද, මත්සු, තකෙ, උමෙ, විශේෂ මෙනුව වශයෙන් හඳුන්වනු ලබන ආහාර වට්ටෝරු 4ක් සහ ඊට අමතරව පැය 3ක කාලයක් ඕනෑතරම් පානයන් ලබා ගත හැකි(all you can drink) අවස්ථාව ද මෙහි ඇත. මත්පැන් වර්ග ද බොහෝ ඇති අතර, ඒ ඒ ඍතු වල හටගන්නා පලතුරු යොදාගෙන සකසන ලද "Sangria", "Cocktail" සහ විවිධ වර්ග වල "Highball" පානය කිරීමට අවස්ථාව ඇත.
【රසවිඳ බැලිය යුතු ආහාර】
・වෙන්චන් චිකන් (කළු විනාකිරි, මහදුරු සහ බිරියානි මල්වලින් රසගැන්වූ ෆ්‍රයිඩ් චිකන්)
・නොරි සහ ශුතෝ(Salted Bonito) වලින් රසගන්වන ලද බැදපු අල
මෙම අවන්හලෙහි එන ආහාර ජපානයේ සහ යුරෝපයේ අමුද්‍රව්‍ය යොදාගනිමින් නිර්මාණාත්මකව සැකසූ ආහාර වේ. එබැවින් මෙම ආහාරවල නම දුටු පමණින් කුමන ආකාරයේ ආහාර වර්ගයක්ද යන්න සිතා ගැනීම අසීරු වුවද, මෙහි එන ඕනෑම ආහාරයක් ඉතා රසවත් හෙයින් කිසිදු සැකයකින් තොරවා ඇණවුම් කළ හැක.
තවද මෙහි ආහාර ඇණවුම් කිරීම එක් එක් මේසය මත තබා ඇති QR කේතය ස්කෑන් කිරීම මගින් සිදු කෙරෙන අතර, අහාර මෙනුව ජපන් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකින්ම ඉදිරිපත් කර ඇති බැවින් ගැටළුවකින් තොරව ආහාර ඇණවුම් කළ හැක.
※වැදගත්: “නොරි සහ ශුතෝ(Salted Bonito) වලින් රස ගන්වන ලද බැදපු අල” ඉතා රසවත් වුව ද, එහි ප්‍රමාණය ඉතා විශාල බැවින් පළමුව ඇණවුම් කළහොත් අනෙකුත් ආහාර රස විඳීමට ඉඩ නොමැති විය හැකි බැවින් මෙය පසුව ඇණවුම් කිරීම යෝග්‍ය වේ.
විශේෂතා ( 3 ) වාසිදායක all you can drink මෙනුව
මෙම අවන්හලෙහි ඇති තෙවන විශේෂත්වය වනුයේ කෝස් මෙනුව ඇණවුම් කළ විට පමණක් ඇණවුම් කළ හැකි "පැය 3ක all you can drink (යෙන් 550)" මෙනුවයි.මෙම all you can drink කෝස් මෙනුව ඇණවුම් කළ විට ජපන් මත්පැන්, බියර්, කොක්ටේල් යනාදිය වර්ග 100ට වඩා වැඩි ප්‍රමාණයක් රසවිඳීමට හැක. මීට අමතරව, පැරණි පොතක් රැගෙන ගිය විට පැය 3ක all you can drink මෙනුව යෙන් 110ට රසවිඳිය හැක!! (මෙය ඉතා වාසිදායකය!!) . සමූහයක් ලෙස මෙහි පැමිණෙන්නේ නම් මෙම වාසිදායක පැය 3ක all you can drink මෙනුව ඇණවුම් කිරීමට යෝජනා කරමි.
【පැය 3ක all you can drink මෙනුව ඇණවුම් කරන විට සැලකිලිමත් විය යුතු කරුණු】
・කෝස් ආහාර මෙනුව ඇණවුම් කළ විට පමණක් රසවිඳිය හැක.
・ඔබ රැගෙන යනුලබන පැරණි පොත් අවන්හලට භාරදිය යුතුය.
・සඟරා සහ කාටුන් පොත් භාරගනු නො ලැබේ.
・එක් පුද්ගලයකු එක් පැරණි පොත බැගින් රැගෙන යා යුතු ය.(පොත් ප්‍රමාණවත් නොවන්නේ නම් රැගෙන ගිය පොත් ප්‍රමාණයට පමණක් මෙම වට්ටම හිමි වේ)
■"නප්පගොචිසෝ" අවන්හලට යන විට සැලකිලිමත් විය යුතු කරුණු
①ප්‍රසිද්ධ අවන්හලක් බැවින් එහි යාමට ප්‍රථම අසුනක් වෙන්කරවා ගමු
※ආසන වෙන්කිරීම LINE හරහා පමණි → ID 「@nappa-meguro」)
②අසුන් වෙන් කළ පසු වෙනසක් සිදු වන්නේ නම් කල් තියා දැනුම් දීමට වගබලා ගමු.
③මෙය ජපානයට ආවේණික සංස්කෘතියක් විය හැකි අතර, ජපානයේ අවන්හලකට ඇතුළුවීමේදී ආසනයක් සඳහා යම් මුදලක් අය කෙරේ. මෙය "ඔතෝෂි" යනුවෙන් හැඳින්වෙන අතර මෙය ප්‍රතික්ෂේප කළ නො හැක. නමුත්, මෙම මුදල ගෙවූ විට නොමිලයේ එක් අහාරයක් රසවිඳීමට හැක.
※"ඔතෝෂි" මුදල වනුයේ යෙන් 580(බදු ඇතුළත්ව යෙන් 638)කි.
※ආහාර කෝස් එකක් ඇණවුම් කළ විට "ඔතෝෂි" මුදල අය නො කෙරේ.
④මෙම අවන්හල තුළ දුම්පානය කිරීම තහනම් වේ.
⑤මුදල් ගෙවීමේදී කාඩ්පත් සහ QR (PayPay) මගින් ගෙවීම් කළ හැකි වුව ද, විද්‍යුත් මුදල් භාවිත කළ නො හැක.
■සාරාංශය
මෙවර ලිපිය තුළින් තෝකියෝහි ශිනගව ප්‍රදේශයේ පිහිටා ඇති "නප්පගොචිසෝ (මෙගුරො) අවන්හලෙහි විශේෂත්වය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ආවෙමි.ජපානයේ "සුරංගනා ලෝකයක්" මෙන්ම "සිරගෙදරක" වැනි පරසරයක් අත්විඳිමින් ආහාර පාන ගෙන විනෝදවිය හැකි අවන්හල් රාශියක් තිබේ. එහෙත් මම ඔබට "නප්පගොචිසෝ (මෙගුරො) අවන්හල බෙහෙවින් නිර්දේශ කරමි. තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමඟ රසවත් ආහාර රසවිඳිමින් විනෝදජනක මොහොතක් ගතකිරීමට ලැබීම කෙතරම් භාග්‍යක්ද?මෙම අවන්හලෙහි සේවාවන් සහ ආහාර පානාදියෙහි උසස් බව එලෙසම සන්නිවේදනය කිරීමට දැරූ උත්සාහය සාර්ථක වූවා ද යන්න පිළිබඳව සැක සහිත වුව ද, ඔබ එහි ගියහොත් නිසැකවම සතුටු වන බැවින් අනිවාර්යෙන් එහි ගොස් බලන්න.