オススメの場所
2024.11.28

ජපානයේදී දුටු සුන්දර ස්ථානය: කියෝතෝහි උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අමනොහෂිදතෙ

■රචකයා පිළිබඳව

ආයුබෝවන්! මම ජපානයේ උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුවියක් වන භාග්‍යා කහතගහවත්ත වෙමි. උසස් අධ්‍යාපනය සඳහා, මා දෙවරක් ජපානයට පැමිණ ඇත. පළමු වරට 2019 සැප්තැම්බර් සිට කනසාවා විශ්ව විද්‍යාලයේ පරිසර ඉංජිනේරු විද්‍යාව යටතේ ශාස්ත්‍රපති උපාධිය හදාරනු ලැබූ අතර, දෙවන වර 2023 සැප්තැම්බර් මස සිට කියෝතෝ විශ්වවිද්‍යාලයේ නගර කළමනාකරණ විෂය යටතේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිමි.

මා පාසල් කාලයේ දී ජපාන භාෂාව ඉගෙනීමට ආරම්භ කළ අතර, ජපානයට පැමිණීම මගේ කුඩා කල සිටම සිහිනයක් විය. එමනිසා ජපානයේ ඉගෙනීම මට විශාල සතුටක් ගෙන දෙන කරුණක් වී ඇත. සංචාරය කිරීම සහ විවිධ රටවල්වල පුද්ගලයින් සමග කතා කිරීම මගේ විනෝදාංශ වෙයි. ජපානයේ අධ්‍යාපනය ලබන අතරතුර විවිධ ස්ථානවල සංචාරය කර ජපානයේ සංස්කෘතිය සහ සුන්දරත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මා හට හැකි විය.

මෙවර මා ඔබ වෙත හඳුන්වා දෙනු ලබන්නේ, මා මෙතෙක් සංචාරය කරන ලද ස්ථාන වලින් වඩාත් ආකර්ෂණීය ස්ථානයක් පිළිබඳවයි. එනම්, කියෝතෝ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අමනොහෂිදතෙ වේ. කියෝතෝ ගැන කතා කරන විට, බොහෝ අය ඓතිහාසික ගොඩනැගිලි සහ අලංකාර සංස්කෘතික උරුමයන් පිළිබඳව සිතනවා. නමුත්, ජපන් ජාතිකයින් පවා නොදන්නා දර්ශනීය ස්ථාන බොහෝමයක් කියෝතෝ ප්‍රාන්තය තුළ තිබේ. නගරයේ තදබදයෙන් මිදීමට කැමති සහ බොහෝ සංචාරකයින් නොපැමිණෙන ස්ථාන වලට කැමති පුද්ගලයින් සඳහා මෙම ස්ථානය පරිපූර්ණ නිවාඩු ගමනාන්තයක් වේ යැයි සිතමි. මෙතැන් සිට, මා ඔබට අමනොහෂිදතෙ හඳුන්වා දීමට කැමතියි.

■ස්වර්ගයට විහිදෙන පාලම (අමනොහෂිදතෙ) පිළිබඳ සරල විස්තර




・අමනොහෂිදතෙ, ජපානයේ වඩාත්ම දර්ශනීය ස්ථාන තුනෙන් එකක් ලෙස හැඳින්වේ.
・එය ආසන්න වශයෙන් කිලෝමීටර් 3.6ක් පමණ දිග, පටු වැලි තීරුවක් වේ.
・මෙම වැලි තීරුව පයින් ගස් 6,000කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ.
・අමනොහෂිදතෙ, දෙවියන් විසින් ස්වර්ගය සහ පොළොව සම්බන්ධ කරනු ලැබූ පාලමක් ලෙස ජපන් මිථ්‍යා කථාවල දක්වා ඇත.
・මෙම වැලි තීරුව ස්වර්ගයට විහිදෙන පාලමක් මෙන් පෙනෙන නිසා ‘අමනොහෂිදතෙ’ යැයි කියනු ලැබේ. (※විවිධ න්‍යායන් ඇත.)

※ජපානයේ වඩාත්ම දර්ශනීය ස්ථාන තුන වන්නේ මියාගි ප්‍රාන්තයේ ‘මත්සුෂිමා’, හිරෝෂිමා ප්‍රාන්තයේ ‘මියජිමා’ සහ කියෝතෝ ප්‍රාන්තයේ ‘අමනොහෂිදතෙ’ ය.
※පැරණි ස්ථාන නාම අනුව මෙම ස්ථාන රිකුසෙන් හි ‘මත්සුෂිමා’, අකී හි ‘මියාජිමා’ සහ තන්ගෝහි ‘අමනොහෂිදතෙ’ යනුවෙන්ද හැඳින්වේ.

■අමනොහෂිදතෙ හි ඇති සුන්දර ස්ථාන: නරිඅයි කඳු මධ්‍යයේ ඇති උද්‍යානය ‘අමනොහෂිදතෙ කසමත්සු උද්‍යානය’





・කසමත්සු උද්‍යානය යනු මුහුදු මට්ටමේ සිට මීටර් 130ක් උස කඳු මුදුනක පිහිටි උද්‍යානයකි.
・ඔබට කේබල් කාර් එකෙන් හෝ කේබල් සෝපානයෙන් කසමත්සු උද්‍යානය වෙත යා හැකිය.
・කසමත්සු උද්‍යානය අමනොහෂිදතෙ හි උතුරු පැත්තේ පිහිටා ඇත.

※කසමත්සු උද්‍යානයට යාමට මාර්ග දෙකක් තිබේ: කේබල් කාර් හෝ කේබල් සෝපානය. නමුත් මම කේබල් සෝපානය නිර්දේශ කරමි. මක්නිසාද යත්, ඔබට මුහුදු සුළඟේ පහස ලබමින්, මනස්කාන්ත දර්ශන භුක්ති විඳිය හැකි බැවිනි. විශේෂයෙන්, කසමත්සු උද්‍යානය සිට පහළට බැස යන විට කේබල් සෝපානය භාවිතා කරන්නේ නම් ඈත පෙනෙන වැලි තීරුව ඉතාම මනස්කාන්ත අයුරින් පෙනේ. එබැවින්, ඔබ උස ගැන කරදර නොවන්නේ නම්, කේබල් සෝපානය භාවිතා කර බලන්න.

■කසමත්සු උද්‍යානයේ විශේෂතා දෙකක් ! !

කසමත්සු උද්‍යානයේ විශේෂතා ① මතනොසොzකි වේදිකාව




පහළට නැමී තමන්ගේ පාද අතරින් අමනොහෂිදතෙ දෙස බැලූ පළමු පුද්ගලයා ක්‍රිස්තු වර්ෂ 809 දී පමණ ජීවත් වූ ඔනෝ කොමාචි නම් කිවිඳිය බව පැවසේ. වෙනත් වචන වලින් කිවහොත්, වසර 1,200 ක් පමණ, මිනිසුන් අමනොහෂිදතෙ හි මනස්කාන්ත දසුන භුක්ති විඳීමට ඔවුන්ගේ පාද අතරින් අමනොහෂිදතෙ දෙස බලා ඇත.

මතනොසොzකි නම් මෙම විශ්මිත චාරිත්‍රය අත්විඳීම සඳහා, අපි කසමත්සු උද්‍යානයේ පිහිටුවා ඇති මතනොසොzකි වේදිකාව මත සිටගෙන, ඔනෝ කොමාචි කිවිඳිය මෙන් අපි අපේ පාද අතරින් අමනොහෂිදතෙ දෙස බැලුවෙමු. එවිට, වලාකුළු මුහුදු මතුපිටින් පරාවර්තනය වී අමනොහෂිදතෙ හි හැඩය බලවත් ලෙස අහසට නැඟී එන මකරෙකු මෙන් දිස් විය. ඔබට මෙම අපූරු දර්ශනය කසමත්සු උද්‍යානයේ මතනොසොzකි වේදිකාවේදී සහ දකුණේ සිට අමනොහෂිදතෙ දෙස බැලිය හැකි වීව් ලෑන්ඩ් හි ඇති මතනොසොzකි වේදිකාවේදී දැක ගත හැකිය.

කසමත්සු උද්‍යානයේ විශේෂතා ② කවරකේ නගේ




‘කවරකේ’ යනු අතීතයේ සිට ජපානයේ භාවිතා කරන තුනී මැටි බඳුනකි. කසමත්සු උද්‍යානයේ දී, නරක ආත්මයන් දුරු කිරීම සඳහා කවරකේ විසි කිරීමේ පැරණි ජපන් චාරිත්‍රය ඔබට අත්විඳිය හැකිය.

[කවරකේ නගේ භාවිතා කරන ආකාරය]: කවරකේ 3 ක් සහිත යෙන් 200 කට්ටලය 

①අසල ඇති ගාස්තු පෙට්ටියට යෙන් 200ක් දමා ඔබම රාක්කයෙන් "කවරකේ" 3ක් එලියට ගන්න.
②ඔබගේ ප්‍රාර්ථනය සිතෙහි ඇති කරගන්න.
③කසමත්සු උද්‍යානයේ නැරඹුම් වේදිකාවට යාබදව සාදා ඇති වළල්ල මැදින් යන ලෙස ‘කවරකේ’ විසි කරන්න.

[කවරකේ නගේ කරන විට සැලකිලිමත් විය යුතු දේවල්]

・කරුණාකර යෙන් 100 කාසි ගාස්තු පෙට්ටියට දමන්න.
・යෙන් 1000 බිල්පත් භාවිතා කළ නොහැක. සිහිවටන සාප්පුව තුළ, වම් පස ඇති මුදල් හුවමාරු යන්ත්‍රයෙන් මුදල් හුවමාරු කරගන්න.

■කසමත්සු උද්‍යානය හැර අමනොහෂිදතෙ රස විදිය හැකි වෙනත් ආකාර

①අමනොහෂිදතෙ තරණය කිරීම (ක්‍රමය: ඇවිදීමෙන්/ කුලියට ගත් පාපැදියක් මගින්)

අමනොහෂිදතෙ ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර ඇති බැවින් එය හරහා වාහනයක් ධාවනය කළ නොහැක. කෙසේ වෙතත්, පයින් හෝ පාපැදියක් මගින්, සුන්දර පයින් ගස් නරඹමින් අමනොහෂිදතෙ තරණය කළ හැකිය. අමනොහෂිදතෙ හි මුළු දිග කිලෝමීටර 3.6 ක් පමණ වන අතර, එය එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ඇවිදීමට විනාඩි 50 ක් පමණ ගත වන අතර බයිසිකලයෙන් විනාඩි 20 ක් පමණ ගත වේ. අමනොහෂිදතෙ හි කුඩා සිද්ධස්ථාන සහ විවේක ස්ථානද ඇති බැවින් හොඳින් කාලය ගෙන එහි සුන්දරත්වය විඳීම නිර්දේශ කරමි.

②බෝට්ටු සවාරි

නැරඹුම් බෝට්ටුවකින් අමනොහෂිදතෙ හි සුන්දරත්වය නැරඹිය හැකිය. මෙම නැරඹුම් බෝට්ටුව මියසූ පියර් සිට අමනොහෂිදතෙ පියර් (මොංජු පැත්ත) හරහා ඉචිනොමියා පියර් (ෆූචූ පැත්ත) දක්වා ධාවනය වේ. කාලගුණය යහපත් දිනවල බෝට්ටු සවාරියක් යෑමටත් අමතක කරන්න එපා!

③ඉනේහි බෝට්ටු නිවාස





ඉනේහි බෝට්ටු නිවාස යනු පළමු මහලේ බෝට්ටු ගබඩා ප්‍රදේශයක් සහ දෙවන මහලේ වාසස්ථානයක් සහිත ගොඩනැගිල්ලක් වේ. ඉනේ ප්‍රදේශය සාම්ප්‍රදායික ගොඩනැගිලි සඳහා ජාතික වශයෙන් වැදගත් සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇත. අතීතයේ දී එය බෝට්ටු ගබඩා කිරීම සඳහා ගබඩාවක් වූ අතර තවමත් එය පුද්ගලික දේපලක් ලෙස භාවිතා වේ. කිලෝමීටර් 5 ක දුරක් පුරා ඉදිවී ඇති බෝට්ටු නිවාස 230 ක් පමණ ඇති නමුත් බෝට්ටු නිවාසවල ජීවත් වන පවුල් විශාල ප්‍රමාණයක් නොමැත. අපි අමනොහෂිදතෙ සංචාරය කිරීමට පෙර මෙම ස්ථානයට ගිය අතර, වසර සිය ගණනක් තිස්සේ නොවෙනස්ව පවතින දර්ශන නැරඹීමෙන් අපි බෙහෙවින් විශ්මයට පත් වුණෙමි. ජපානයේ වසර සිය ගණනක් තිස්සේ නොවෙනස්ව පවතින බොහෝ භූ දර්ශන ඇති අතර, මෙම ස්ථානවල පවතින සංස්කෘතිය හා සම්ප්‍රදායන් අත්විඳීමෙන් ජපානය පිළිබඳව සුන්දර කරුණු ඉගෙන ගැනීමට හැකි වනු ඇත.

සටහන: ඉනේ හි ජනතාව පරම්පරාගත සම්ප්‍රදායන් දිගටම ආරක්ෂා කර ගනිමින්, ඔවුන්ගේ බෝට්ටු නිවාස සංරක්ෂණය කර ප්‍රයෝජනයට ගනිමින් ජීවත් වෙති. නිවැසියන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම සඳහා, කරුණාකර නීති රීති අනුගමනය කර බෝට්ටු නිවාස වලට ඇතුළු වීමෙන් වළකින්න.

■අමනොහෂිදතෙ වෙත පැමිණීම සඳහා සංචාරක බස් රථය නිර්දේශ කිරීම කෙරේ.

[සංචාරක බස් කාලසටහන]

・උදෑසන 08:00 කියෝතෝ දුම්රිය ස්ථානයෙන් සංචාරක බස් රථය පිටත් වේ.
・උදෑසන 11:00 පළමු ගමනාන්තය: ඉනේහි බෝට්ටු නිවාස (රැඳීමේ කාලය විනාඩි 40)
・දහවල් 12:00 අමනොහෂිදතෙ අවට සංචාරය (රැඳීමේ කාලය පැය 2)
※මෙම සංචාරයේදී ආපසු නිවසට යන අතරමගදී, කියෝතෝ ප්‍රාන්තයේ නන්තන් නගරයේ මියාමා ගමේහි සම්ප්‍රදායික ගොඩනැගිලි සංරක්ෂණ ප්‍රදේශයක් වන කයබුකිනො සතෝ ප්‍රදේශයද සංචාරය කිරීමට හැකි විය.

අමනොහෂිදතෙ, කියෝතෝ නගරයේ සිට දුම්රියෙන් පැය දෙකහමාරක් පමණ දුරින් ඇත. කියෝතෝ සහ අමනොහෂිදතෙ JR දුම්රියෙන් සම්බන්ධ වී ඇති නමුත් මෙම ප්‍රදේශයේ පොදු ප්‍රවාහනය එතරම් පහසු නැත. එබැවින්, කාලය සහ මුදල් යන දෙකම ඉතිරි කර ගැනීම සඳහා, කියෝතෝ සිට සංචාරක බස් චාරිකාවකින් අමනොහෂිදතෙ නැරඹීමට තීරණය කළෙමි.

මෙම සංචාරයේදී අමනොහෂිදතෙ සහ ඉනේ යන ස්ථාන දෙකම නැරඹීමට හැකි විය. බස් රථය තුළදී එක් එක් ගමනාන්තයන් පිළිබඳව විස්තරාත්මකව දැන ගැනීමට ලැබූ නිසා එම ස්ථාන නැරඹීමට පෙර ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට ද හැකි විය. තවද, ගමනාන්ත වලදී එක් එක් ස්ථානය තමන්ට රිසි ආකාරයට ගවේෂණය කිරීමට සහ භුක්ති විඳීමට නිදහස ඇත. සංචාරක බස් ගාස්තුව එක් පුද්ගලයෙක් සඳහා දළ වශයෙන් යෙන් 9,000 වේ. (*කෑම සහ සිහිවටන ඇතුළත් නොවේ). ඔබට නිදහසේ අඩු වියදමකින් මෙම සංචාරය යෑමට අවශ්‍ය නම් සංචාරක බස් චාරිකාව සුදුසු බව නිර්දේශ කරමි.

■සාරාංශය

මෙම ලිපියෙන් අමනොහෂිදතෙ සහ ඉනේ බෝට්ටු නිවාස හඳුන්වා දුන්නෙමු. ඔබ සිතන්නේ කුමක්ද? මා මුලදී කෙටියෙන් හඳුන්වා දුන් පරිදි, ජපන් ජාතිකයින් පවා එතරම් නොදන්නා දර්ශනීය ස්ථාන සහ ස්වභාවධර්මයෙන් පොහොසත් ස්ථාන කියෝතෝ ප්‍රාන්තයේ බොහෝ තිබේ. මෙවැනි ස්ථාන, වෙලාව ගැන කනස්සල්ලකට පත්වීමකින් තොරව, විවේකීව සහ ප්‍රබෝධමත් ලෙස කාලය ගත කිරීමට කදිම ස්ථාන වේ. අවසානය දක්වා කියවූ ඔබට ස්තුතියි.

カハタガハワッタ バーッギャ

国・地域
スリランカ
居住地
京都府
得意カテゴリ
オススメの場所

会員登録すると
アルバイトに応募したり、おすすめ情報をメールで受け取ることができます。

You can apply and get some recommended newsletter if you register.

Free!
会員登録(Register)